Posts

Showing posts from June, 2017

හාමුදුරුවනේ

හාමුදුරුවනේ  මතු ආත්මෙකදී බුදුවෙන්නද මේ  පාරමී පුරන්නේ  බුද්ධ ධම්ම ගුණ බලයෙන්  දිවිය පුරා සසර පුරා සැරිසරණ තුරා  නිරෝගී සුවය අත්වේවා! වියත් බසින් ඇති මහා දහම් පොත්  නිරතුරුවම සිහි නුවණින් කියවා  බුදුන් දෙසූ ඒ නිමල දහම් කඳ  සරල සුමට බස් වහරින් සරසා  ගැඹුරු දම් අරුත් තේරුම්කර දෙවනා  දහම් සිසිලසෙන් හදවත් සනසවනා. සෝ සංතාපේ හේතු ඉවත ලා  බුද්ධ භාවනා දින දින වඩවා  සීල සමාධී ප්‍රඥා බලයෙන්  කෙලෙස් මාරයන් හාමත් කරවා  දහම් අමා රස ඉස්මතු කර දෙවනා  හාස්කමක්මැයි ඒ අනුශාසනා.

අනුකම්පන සහකම්පන

ඉරානේ මිනිසුනේ  මොකද උඹලට මේ වුණේ  අනේ දෙවිවරුනේ  සාපෙකින්වත් එවුනාද මේ හෙනේ ධරණි මෑණියනේ  ඇයිද වියරූ වුණේ  කිමද හෙලවුණේ  උමතු ලෙසිනේ  අහිමි වීලා  මා පිය සෙනේ  නෑ පිරිස් යහලුවන් මියැදී  දරුවන්ද සමගින්නේ  පණ බිඳක්වත් තියේ නම්  කරුවලේ ඝන හීතලේ  දූවිලි කැරලි ගොන්නේ  නිදාගන්නින්  හිස් බඩින්  හෙට  අවදිවෙන්නට පණපිටින්. වැලපෙන සිතින් මතුවෙන  සිතුවිලි දිගේ  සයුරු යටින් කඳුලෙන්  වා රැල්  දිගේ සුසුමෙන්  එවන්නම් මං යහමින්  හයිය හත්තිය. නොමැරී සිටින්නට  තවත් එක  දවසක්වත්. (ඉරානයේ භූමි කම්පාවකින් මිය ගිය ගණන 40000 දක්වා වැඩිවීමට ඉඩ ඇති බව අසා මා සිත සසල වුනා. තවමත් ජීවත් වෙමින් සිටි අයගේ සෝ දුක් නිවාලන්නට ශාරීරික වේදනා අවම කරගන්නට මගේ සිතුවිලි ධාරා ශක්තියක් වේවා යයි සිතමින් තමයි මෙය ලීවේ. මෙය මගේ අතින් ලියවී ඇත්තේ 28/12/2003.)

ගායකයාණෙනි

ප්‍රතිභා ශක්ති ප්‍රභා විහිදා  මන්ද්‍ර මධ්‍ය  හා තාර සප්තකේ සහවාසෙන්  සංවාදී අනුවාදී ස්වර ඇසුරෙන්  කර්ණ රසායන ධ්වනියෙන්  උත්තර භාරත සංගීත රසේ උපදන්නේ  ශ්‍රාවක රසභා පුබුදුකරන්නේ  සංගීත වේදයේ පරිනිත වූ  ගායකයාණෙනි  ඔබ දෙවියකු වේ මේ මිනිසුන් අතරේ. වේග රිද්ම බොල් ගොස මතුවෙද්දී  විදුලි සරින් ගොර හඬ නැංවෙද්දී  බොළඳ ලෙසින් තැන තැන ගැහෙනා  මනුස් පිරිස් සංවර කරවා  ගායකයාණෙනි  ගයන්න ගැඹුරින් රාගධාරි ගීයක්. පොලෝ තලේ මත එලූ කලාලෙක  හීන් සැරේ - සංයමයෙන් හිඳ  මිහිරි හඬින් මතුවෙන වෙන නද මත  කරවා හඬ තුලනය නිසිසේ  ගායකයාණෙනි  ගයන්න යහමින් රාගධාරි ගීයක්.

අනේ අපි

ජීවිත ඔපලා පුබුදා ලන්නට හිරු පායා සැඩ රැස් විහිදද්දී  හිරුට සාප කරනා ඒ මනු සිත්  උදේ දිවා රෑ වැහිම යදී. ගේ දොර වනසා ජීවිත බිලිගෙන වැහි දිය මුහුදට ගලා බසිද්දී සාපය වැහි දෙසටම හරවාගෙන  හිරු කිරණක් දෙස බලා හිඳී.   ධන සම්පත් නැතිවී ගිය දාටයි    තියෙනා දේවල අගය දැනෙන්නේ   පුංචි පුංචි ලෙඩ හැදෙනාවිටදියි  නිරෝගි සුවයේ තරම දැනෙන්නේ.

දමනය

සමිඳුනේ බුදු සමිඳුනේ  ශ්‍රාවකයෙක්මි මම  ඔබවහන්සේගේ.  සනහාලනු මැනවි  වියවුල්ව ඇති මා සිත්. ආලවක වන්  අපගේම සොහොයුරන්  මෙසිරිලක රජකරයි  පාතාල නම්  පුරවරයක. පොලු මුගුරු නොව  කඩු  කිනිසි නොව විෂ බෙහෙත් ලූ  නපුරු ගිනි අවි රැගෙන  සරයි දිව රෑ  මරා දමමින්  මිනිසුන් ගැහැණුන් හා ළමුන්  මිළ මුදල් ඈ ධනය උදෙසා  කොතෙක් තිබුවද  සතුට නොමදෙන  අසීමිත වූ බලය උදෙසා . මුදවා දෙනු මැනව ඔවුන්  පාපකාරී ජීවිතෙන්. කෙරුමට ඒ හපන්කම  පුරිස ධම්ම සාරතී ගුණ හෙබි  සමිඳුනේ ඔබ මිසක නැත අන් අයෙක් කිසි. 

එපා එපා එපා

1. ටෙලි නාට්‍යවල පෙම්වතුන් කෝච්චි පාරේ අත් බැඳගෙන ඇවිද යන හැටි කෙතරම් සුන්දර වුනත් - කොච්චි පාරේ හුදකලාව ඉඳගෙන සිටින තරුණයකුගේ හෝ තරුණියකගේ පින්තූරයක් කෙතරම් ලස්සන වුනත් - ඔබ නම් කිසි දිනක කෝච්චි පාරේ ඇවිදගෙන යන්න එපා. ඉඳගෙන ඉන්න එපා. එය ඔබේ ජීවිතයට අවදානමක්. 2. ගමේ හෝ රටේ හෝ වෙනත් තැනකදී හෝ සිදුවෙන වරදකට එරෙහිව, දූෂණයකට එරෙහිව, බලධාරීන්ට එරෙහිව, පාලකයන්ට එරෙහිව සටන් කිරීමේදී, උද්ඝෝෂණ කිරීමේදී, මාර්ග අවහිර කිරීමේදී තාර දා ලා  හදපු - එහෙමත් නැත්නම් කාපට් කරලා හදපු - පාරවල්  මැද  ගිනිගොඩවල්  ගහල දෙනෝ දාහක් පාවිච්චිකරන ඒ පාරවල්  විනාශ කරන්න එපා. එය සමාජ විරෝධී ක්‍රියාවක්. දේශ ද්‍රෝහිකමක්. 3. මහා මාර්ගය  මත,  මහා මාර්ගයේ ඇති මං සලකුණු මත  හෝ  නාම පුවරු මත  හෝ  චිත්‍ර, බහුබූත රූප, ඡන්ද ලකුණු, මනාප අංක අඳින්න හෝ කඩදාසි අලවන්න හෝ එපා. එය සමාජ විරෝධීයි. 4. ඔබේ ම  ඉඩමක හෝ  ඔබේ  ගමේ හෝ ගොවිපොලක හෝ බැම්මක් නැතිව අනාරක්ෂිතව ලිඳක් තිබේ නම් එය එසේ තිබීමට ඉඩ හරින්න එපා. මුදල්   සම්මාදන් කරලා හරි,  මුදල් ණයකට අරගෙන  හරි,  පාලකයන්ට දන්වා උදව් ඉල්ලාගෙන  හරි  ඒ බැම්ම බැඳ දමා අහම්බෙන්

දාහතර

දාහතර පුංචි සන්දියේ මං කෑගහල අඬනකොට හරහාට වඩාගෙන මගෙ පුංචි ලොඹු කටට ඇගේ තන පුඩුව දී මගේ හිත පිරෙන තුරු මගේ බඩ පිරෙන තුරු තනේ කිරි හිඳෙන තුරු සතර බඹ විහරණේ කිරිකරල මට පොවපු මගෙ අම්ම නැවැත්තුව මහරගම රෝහලේ දාහතරෙ වාට්ටුවෙ. කරපු නැති වරදකට දඬුවමක් දීල වගෙ කිරි දුන්න තන දෙකෙන් එක තනක් කපන්නයි කට්ටියම ලෑස්තිය. (චන්ද්‍රවංශ මුවන්වැල්ල)

මේ සත්‍යයයි.

ඉසුරු අහිමිදා  නෑදෑයන් අතරේ - හිඳිනු එපා  සුළුඹුලු හැඳගෙන තණපිටි මත්තේ  වග වලසුන් මැද ගස්  ගල් සෙවනේ  හිඳිනු සැපා. සෑම තැනා ඇත නපුරු දනා  නසන්ට බෑ ඒ සියලු දෙනා  දුරලා කොද සිත් - වැඩලා මෙත් සිත්  වසනා අය වෙත් නිති දිනනා  නැසුවා වාගෙයි පවිටු දනා. නිල මහනෙල් මල් පිපි දිලෙනා  පොකුණේ වෙසෙනා මැඩි සේනා  නොදනිති සුවඳක් - නොවිඳිති මිහිරක්  විසුවත් සුදනුන් හා එකසේ  දුදනෝ නොදනිති සුදන ගුණා. (ප්‍රත්‍ය ශතකයේ ශ්ලෝකයක් ඇසුරෙන් නිර්මාණය කළෙමි.)

අබිනික්මන

සුදු - ඔසරියේ රැඳුණු සැවන්දර සුවඳට  මෝරන්න දෙන්න හඳ මෝරන තුරු පෝයට  තව ටික දොහකින් එනවා පසළොස්වක  හදිස්සි ඇයි සිල් ගන්නට පුර අටවක  පිනිබිඳු තැවරුණ සමන් පිච්ච මල් නෙළුවේ වට්ටියකට  බවුන් වඩන්නද බුදු හිමි අබියස වෙන්වී ටික කලකට  හිමිදිරි යාමේ එළිපත්තෙන් බැස ගෙදරින් ඔබ යනකොට  මහා පාලුවක් එබුණයි හිත ඇතුලට  අද- නොරොක් වෙලානම් ඔබ සමගින් ඔබ සිත  කොහොමද ඉඳගෙන ඉන්නේ බණ මඩුවක  සිහිල තියේ මට ඔබ හිඳිනා මානෙක  නොයන්න සොඳුරිය මා හා වී විරසක

දැලි ගෑවෙයි මූණේ

වලව්ව අස්පස් කරලා   තුන් වේලට බත් උයලා  මැණිකෙගෙ කසාය හදලා  නාන්ඩ ඇල් දිය මරලා  කොච්චර කෙරුවත් ඉවරයකුත් නෑ මට  වලව්වෙ වැඩපල කරලා    ලොකු මැණිකේ ලෙඩ ගානේ හිටියත්  මැණිකෙට තියනව ඇස් හතරක්  කිටිකිටියේ හිසකේ පීරාගෙන  සීන් සිනිඳුවට රැවුලත් බාගෙන අත්කොට කමිසය බාගෙට ඇඳගෙන  ලැම මස් පිඩු ඉදිරියට නෙරවගෙන  රන් දම්වැල පපු මැද පෙන්වාගෙන  පැතලි උදර පසුපසට යවාගෙන  උණ ගොබයක් සේ කොන්ද හදාගෙන  විලුඹ ගසා පා බිම තද කරමින  නිකට උස්සලා ඈත බලාගෙන  හැපෙන සුළං රැළි සුවඳ කරාගෙන  පොඩි නිලමේ බෑරක්ද වඩින්නේ  යනව හොඳයි අය ආපු වෙලාවක අරම බලන්නට එපා මයෙ  දිහා නිලමෙල මැණිකෙල එහෙ මෙහෙ වෙනකොට  එන්ඩ එපා මං අවුස්සවන්නට  වලං හෝදලා මගේ අතේ දැලි      ගෑවෙයි පොඩි නිලමෙගෙ මූණේ  පොඩි නිලමෙගෙ විතරක්ම නෙවෙයි  ලොකු නිලමෙගෙ මූණෙත් ගෑවෙයි.

හිනැහියන්

විභාගේ අසමත් වෙලා  කඳුලු  කැට  ඔය ලේන්සු පොඩියට බර වැඩියි  උඹට වුණ  දේ මීට ඉස්සර  කිසිම කෙනෙකුට  කිසිම  දවසක   වෙලා නැත්නම් - විතරක්  හඬාපන්  වැලපියන්  ලජ්ජාවෙයන්.  වැරදුනේ කොතැනද  බලන්   වැරදුනේ කෙලෙසද සොයන්  අයෙත් සැරයක් එහෙම වෙන්නට  ඉඩක් නොතියා  දිරිය යොදවා හිත හදාගෙන  තවත් පාරක් ඉඳගනින්  නැගිටපන්. සිරික්කියකින් හිනාවී  උඹේ පන්තියෙ  යාලුවන් රිදෙව්වත් පොඩි හිත තදින්  දොසක් නොකියා  සිහිය එළවා විඳ දරාගෙන   කිසිත් නූසේ ඉවසපන්  හිනැහියන්. (චන්ද්‍රවංශ මුවන්වැල්ල )

ඔහුට ආදරය දෙන්න

හිරු එලිය වැටුණ තැන් පටන් ඔහු දුවනවා  නොනවතින පා සතර රිදුම් දෙයි කකියවයි ලගින්නට බිමක් නැත නොහැක නොතෙමී ඉන්න  හිසට වහලක් නොමැත අව් රශ්මි වලකන්න  බඩ සාය  දුරලන්න ඉඳුල් බත් ඇට තියා  පාන් රොඩු වාටිවත් නෑ තවම හමුවුනේ  කණ වැකී නැත කිසිත් මුදු මොළොක් වදන් වැකි  උපන්දා සිට මෙතෙක් රැවුම් ගෙරවුම් මිසක  මහන්සිය දුරලලා වැතිරිලා සැප ගන්න  කොට්ට මෙට්ටා තියා  පරණ රෙදි කෑල්ලක්  ගෝනි කඩමාල්ලක් පවා තව හීනයක්  නමින් බල්ලකු වුවත් බොහෝ මිනිසුන් වගේ  නමට ගැලපෙන වැඩක් කිසිකලක නොකරමින්  නිරතුරුව දුවන්නේ සොයා හොඳ ගුණවතෙක්  පාරමී දම් පුරන සිල්වතෙක් පිංවතෙක්  අනේ සිල්වතාණෙනි අනේ පිංවතාණෙනි  මේත් එක සත්වයෙක්  දෙපෝදා පංසලේ දැහැර මණ්ඩිය ගොතා  "සියලු සත්වයන් හට" සුවය පතනා ඔබට  හැකිද මෙය කරන්නට? මව්පියන් හැර දමා අයාලේ යන මොහුට  ඔබෙ දෙපා ළඟ වැටී ලෙවකන්න ඉඩදෙන්න දැවී වියැලුණ බඩට පුංචි අහරක් දෙන්න  බොකුටු හිසකේ අතර ඇඟිළි තුඩු රඳවන්න  ආදරය මුසු වදන් සවන් යොමු කරවන්න  එකම එක වතාවක් ඔබ එහෙම කලෝතින්  පපුවෙ ගැඹුරුම තැනින් මතුව එන භක්තියෙන්  කැපව ඔබ රකියි ඔහු තබා දිවි පරදුවට  ආදරේ

කදි!

කදි! දමිලයකු වූ හෙයින් උපතින්  නොතිබි අගයක් සිංහලුන් හට පංච සීලේ අගය කෙරුවත්  බුදුදහම වෙත ඇලුම් කෙරුවත්  නොවිය  වටිනාකමක් ඔබගේ බොදුවනට මේ රටේ සිටිනා ගැඹුරු දැනුමක් සහිත වූයෙන්  අපුල විය ඔබ මෝඩයන්හට    නොගැලුනෙන් ජඩ පාලනේ පිළිකුලක් විය ධනවතුන්හට ගරු කළෙන් අන් ජාතීන්ටත්  ද්‍රෝහියකු විය ත්‍රස්තයන් හට  උපදින්න නම්  එපා යළි මෙහි  සුදුසු නැත්තෙය මෙරට ඔබහට.

සොල්දාදු බිරිඳකගේ වැලපිල්ල

"පොලිස් නිලධාරියකුට මරණ දඬුවම පැනවෙයි"  (බිඳුනවැව සිද්ධිය පිළිබඳව උක්ත පුවත දැකීමෙන් සසල වූ මා සිත  සනහා ගැනීම පිණිස 01/02/2003 දින මාතින් ලියැවුණ කවි ටිකක්.) වනේ සිව්පාවකුටවත් නෑ මගේ හිමිගෙන් වී         දොසා  අනේ සරණක් වෙද  ඉතින් මට නිවන්නට    දරුවන්ගේ සා ලෝක පාලක දෙවියනේ ඇයි කළේ දඬුවම්    මේ ලෙසා  මගේ රන්කඳ ගෙන ගියේ අද මරන්නද ඔහු    හිස ගසා  හිමියනේ මගෙ හිමියනේ  කෙසේ කව්රුන් කුමක් කීවත්  දනිමි මම ඔබෙ යහ ගුණේ   ගමේ ගෙදරක බිරිඳ දරුවන් සිටීවිද යයි           හිතන්නත්  ඔබෙන් ජාතක කිරි කැටිත්තගෙ ඉඳුල් කට     ගාවන්නවත් සරන්නට නගරේ තැනින් තැන තුරුලු  කරගෙන   මා මදක්  රට රකින්නට ගිය නිසාවෙන් නෑ තිබූයේ             කිසි ඉඩක්   වසන්නෝ දහමේ නිරතවී රැකෙත්  දහමෙන්                සෑමදා  විඳින්නෝ අකුසල් බලෙන් දුක් ගෙවති හැම       දින විඳ  විඳා  රටත් ජාතිය රකින්නට යයි වරම් ලබමින්                ගිය එදා  මටත් රහසින් කළෙද  වරදක් කියන් ගන්නට         හිත හදා  "සඳ ලප ලෙසට කැටුවම ආවා නොවෙද අත්හැර දමා යන්නට කීවේ          කවුද"   (යසෝදරාවත) (චන්ද්‍රවංශ මුවන්වැල්ල )

ඔබත් මමත්

ඔබත් මමත්  අමාවකදා රැයකදී  වළාකුළු නැති අහස තලයක්  වාගෙමයි ඔබ ලස්සනයි ඇත්තමයි හරි ලස්සනයි  ඒ අහස යට මේ පොලොව මත  ඉබාගාතේ තනිව සරනා  කණමැදිරියකු නොවෙද මා  සවස් යාමේ යමන් රාගෙන්  ඇසෙන ගී රාවේ ඔබයි වැසි දිනෙක දිය කඩක මතුවෙන  කටොර වූ  මැඩි  හඬ මමයි  අවාරයකදි මහා වනයෙන්  එකතු කළ මී පැණි බිඳකි ඔබ  ඒ වනේ ඇති තිති රසේ ඇති  කදුරු පලයක් නොවෙද මා   බිඟුන් සොයනා සුවඳ හමනා  රෑට පිපෙනා මලක් වේ ඔබ  බොර දියක කටු රොදක මතුවූ  සුවඳ අහලක නැති මලකි මම  ******************************************* වලක්වන්නට එපා මා සිත රැඳෙන්නේ  ඔබ සිත ලඟින්  දුරස්වන්නද හදන්නේ නැති දුරක් පෙන්වන විලාසෙන්  (චන්ද්‍රවංශ මුවන්වැල්ල )

ගිරා රජ සංදේශයක් ගෙන යාම ප්‍රතික්ෂේප කරයි.

ගිරා රජ සංදේශයක් ගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ගසා වරලස කුසුම පටියන්  වසා තන රණ හංස පැටියන්  සරා අබරණ පැළඳි සොඳිනා ලියන් නැත ගී සින්දු කියනා  කොවුල් කුල්  පිරි සපුල් මල් සැදි  නීල වන හිස තුරන් වීලා   පසඟතුරු ගොස මැකී දෙරණත  පවන් මග ඇත විසෙන් පිරිලා  මතින් නා ලෙලවමින් මුගුරූ  විකුම් තෙද රලු මාර සෙන්  යුද වැදීගෙන දිවා රෑ කල්  ගහ මරා ගනිමින් උනුන්  කිර කුලේ රජ කෙනෙකු වුව මට  සමාවනු මන සාමිනේ  පසන් නැත ඒ ගමන් යන්නට  පියාඹාලා අද දිනේ   15/06/2005 ( මෙහි වචන, පද සහ කවි බොහොමයක් ගෙන ඇත්තේ ගිරා සංදේශයෙනි. )

පෙම් කතාව

ප්‍රේමය පමණක් සටහන් වී ඇති  පෙම් කතාව මිස වෙන කිසිවක් නැති  කාලයෙ  පිටු මත සෙනෙහස් අකුරින්  සමන් පිච්ච මල් සුවඳින් ලියැවුණ  මතක පොතේ එක පරිච්චේදයක්  එකමත් එක කෙටි පරිච්චේදයක්  මා සිත සසල කරයි. හිරු සඳු අතරේ කොතැනක හිටියත්  ඒ හැම තැනකම ඇගේ මුහුණ ඇති  හැඟුම් හෙළි නොවෙන කිසිවිට නොහඬන  වදන් පිට නොවී උගුරේ හිරවෙන  කම්මුල් රතුවී නෙත් යුග නලියන  මුහුණු  ළන් නොවන සිරුරු  නොගෑවෙන මතක පොතේ එක පරිච්චේදයක්  එකමත් එක කෙටි පරිච්චේදයක්  මා සිත සසල කරයි. ඒ සුලු කොටසට මං හරි ආසයි  මං කවදත් ආසයි.

අවදානම

බෝ පත් සොලවන සිහින් සුළං රැළි චණ්ඩ වෙවී  සුළි සුළං ලෙසින් අප රිදවාවී නියං  කපාගෙන එන වැහි අතරින් අහස තලේ ඇඳි  විදුලිය රේඛා අප අබියසදී පුපුරාවී ගංගා ඇල දොළ වේලි තෙමාගෙන ලතාවකට යන ඒ දිය පාරම වියරු වෙලා අප වනසාවී සුව දසුනත් ඇස අනින සෙයකි කටු මිහිරි හඬත් එයි යවුල් සෙයින් නහර පිනන රස අහර ගෙනෙයි විස ඉමිහිරි සුවඳත් වේ විස දුම් සිරුර සතප්නා සුදු මුදු පහසත් සිරුරම ගිනි අවුලයි රහසින් අවදානම ඇත හතරවටින්. I had written this poem (or whatever you call it) in an old notebook of mine. I found it when I was browsing through my old books. It was dated 12th June 2005.

සුන්වූ බලාපොරොත්තු

තොල් රතු පාටයි ඇස් නිල් පාටයි   මගෙ   කිරිකැටියගෙ අත් පා සිනිඳුයි   ඒත් මගේ හද ගැහෙනා රාවේ   එයාට කිසිවිට දැනෙන්නෙ නෑ " මූදු   පතුල යට ඉඳලා ...." කියමින්   මා ගයනා දරු නැළවිලි   ගීයෙන්   මේ පුතණ්ඩියා නිදන්නෙ නෑ   ගීය හදිසියේ නවතා දැමුවත්   කවදාවත් ඔහු සැලෙන්නෙ නෑ   තොඳොල් වෙවී මං මොනවා කීවත්   මා දෙස බැල්මක් හෙලන්නෙ නෑ   රඟහල ඇතුලේ   වේදිකාව මත  දාහත් වසරක් එදා මෙදා තුර   තිරේ ඇරෙද්දිත් තිරේ වැහෙද්දිත්   අම්මා යයි හඬ නොනගන දරුවෙක්   කිරි කට ඉල්ලා නොහඬන දරුවෙක්   හුස්ම නොගන්නා රෙදි බෝනික්කෙක්   කවමදාකවත් අම්මකු නොවනා අම්මා කෙනෙකුගෙ දරුව වුණා   පැතුම් සුසුම් හා හැඬුම් පොදි   මැදින් නැළවිලි ගී තවමත් කියැවෙයි   පාට සායමින් තරුණ වුවත් මං   එදා වගේ නෑ දැන් මහලුයි   ඇස් ඉස්   මස් ඇති හිනා කටක් ඇති   පින් ඇති පණ ඇති දරුවන් ලබනා   කාලය ගිලිහී අවසානයි .