එපා එපා එපා

1. ටෙලි නාට්‍යවල පෙම්වතුන් කෝච්චි පාරේ අත් බැඳගෙන ඇවිද යන හැටි කෙතරම් සුන්දර වුනත් - කොච්චි පාරේ හුදකලාව ඉඳගෙන සිටින තරුණයකුගේ හෝ තරුණියකගේ පින්තූරයක් කෙතරම් ලස්සන වුනත් - ඔබ නම් කිසි දිනක කෝච්චි පාරේ ඇවිදගෙන යන්න එපා. ඉඳගෙන ඉන්න එපා. එය ඔබේ ජීවිතයට අවදානමක්.

2. ගමේ හෝ රටේ හෝ වෙනත් තැනකදී හෝ සිදුවෙන වරදකට එරෙහිව, දූෂණයකට එරෙහිව, බලධාරීන්ට එරෙහිව, පාලකයන්ට එරෙහිව සටන් කිරීමේදී, උද්ඝෝෂණ කිරීමේදී, මාර්ග අවහිර කිරීමේදී තාර දාලා හදපු - එහෙමත් නැත්නම් කාපට් කරලා හදපු - පාරවල්  මැද  ගිනිගොඩවල්  ගහල දෙනෝ දාහක් පාවිච්චිකරන ඒ පාරවල්  විනාශ කරන්න එපා. එය සමාජ විරෝධී ක්‍රියාවක්. දේශ ද්‍රෝහිකමක්.

3. මහා මාර්ගය මත, මහා මාර්ගයේ ඇති මං සලකුණු මත හෝ නාම පුවරු මත හෝ චිත්‍ර, බහුබූත රූප, ඡන්ද ලකුණු, මනාප අංක අඳින්න හෝ කඩදාසි අලවන්න හෝ එපා. එය සමාජ විරෝධීයි.

4. ඔබේ ඉඩමක හෝ ඔබේ ගමේ හෝ ගොවිපොලක හෝ බැම්මක් නැතිව අනාරක්ෂිතව ලිඳක් තිබේ නම් එය එසේ තිබීමට ඉඩ හරින්න එපා. මුදල්  සම්මාදන් කරලා හරි, මුදල් ණයකට අරගෙන හරි, පාලකයන්ට දන්වා උදව් ඉල්ලාගෙන හරි ඒ බැම්ම බැඳ දමා අහම්බෙන් නැතිවීමට ඉඩ ඇති ජීවිතයක් බේරා ගන්න දායක වන්න. එය පුන්‍යකර්මයක්. සමාජ සත්කාරයක්.

5. මොබයිල් ෆෝන් එකින් කතාකරමින් හෝ එහි තිරය මත නෙත් රඳවා ගනිමින් හෝ වාහන පදවන්නවත්  මහපාර මාරුවෙන්නවත්  එපා. එය මරණයට  අත වැනීමක්. පදික වේදිකාවේ ගමන් කරද්දී වුවත් අවට සිදුවන දෙය දෙස අවධානයෙන් සිටීම වැදගත්.

6. ඔබ වැඩ කරන කාලය තුලදී යහලු මිත්‍රාදීන්ට දුරකථන ඇමතුම් ලබාගන්නවත් ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නවත් එපා. එසේ කිරීමෙන් ඔබ වැය කරනුයේ ඔබේ සමාගමේ නැතිනම් ඔබගේ ආයතනයේ වටිනා කාලයයි. ඔබ විනයගරුක සේවකයකු වුවහොත් - ඔබ ඔබට අවංක වුවහොත් - ඔබට නොදැනීම ඔබගේ ජීවිතය තුලට ජයග්‍රහණ සමීපවනු ඇති. 

7. දුරකථනයෙන් ඇමතුම් ගැනීමේදී හදිසියෙන් වැරදි අංකවලට කතා කරන්න එපා. වැරදි අංකයක් ඇමතීමෙන් එයට පිළිතුරු දෙන පුද්ගලයාගේ නිදහසට ඔබ කරනුයේ බාධාවක්. රාත්‍රී කාලයේදී නම් මේ පිළිබඳව වඩාත් ප්‍රවේසම් විය යුතු වනවා.

8. පුද්ගලයන්ගෙන් ණයට මුදල් ඉල්ලන්න එපා. ඔබ බලාපොරොත්තුවන අයුරින් ඒ ණය පියවා ගන්නට නොහැකි වුනොත් එය ප්‍රශ්න රාශියකට මුලක් වනු ඇති.

9. ඔබ ඉල්ලා ගත් ණය මුදලක් වේ නම් එය නොදී සිටින්න එපා. එය ද්‍රෝහිකමක්.

10. කරදරයක් සිදුවූ විටෙකදී සාස්තර බැලීම්, අංජනම් බැලීම්, දෙහි කැපීම් යනාදිය පසුපස යන්න එපා. එවැනි ව්‍යාපාර කරන අයවලුන් කියනදේ අසත්‍ය වුවද සත්‍ය ලෙස පිළිගෙන ඔබ තව දුරටත් අමාරුවේ වැටෙන්නට ඉඩ තියනවා. රෝගයක් නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. ආරවුලක් නම් නීතිමය උපදෙස් ලබාගන්න. වැඩිහිටි උපදෙස්, උපදේශන සේවා, මානසික ප්‍රතිකාර යනාදිය කෙරෙහි විශ්වාසය තැබීමෙහි වරදක් නැහැ.

11. පුද්ගලික හෝ පොදු තාප්ප මත විකාර රූප, නම් ගම්, අසභ්‍ය වැකි ලියන්න එපා. එහෙම කරන්නෙ මනෝ විකෘති භාවයකින් පෙළෙන අය. ඒක  කරන්න කරන්න ඔබේ මනෝ විකෘති භාවය වැඩිවී නුදුරේදීම ඔබ සම්පුර්ණ පිස්සකු වනු නොඅනුමානයි.

12. පෝලිම් කඩාගෙන ගිහින් මුලින් හෝ මැදින් හිටගන්න එපා. එය ඔබේ අවිනීතකම ප්‍රදර්ශනය කිරීමක්. එහි සිටින සියල්ලන් ඔබට ශාප කරනු ඇති. සමහරවිට දොස් පවරා ඔබ ලජ්ජාවට පත් කරනු ඇති. බොහෝවිට ඔබට ශාරීරිකවත් හිංසා කරනු ඇති.  

13. පාරේ හෝ ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගසන්න එපා. ඔබට කෙසේ වෙතත් අන් අයට එය පිළිකුල්. කෙළ මගින් සෙංගමාලය වැනි රෝග ව්‍යාප්ත විය හැකියි. මහමග අනුන් හලා ඇති කෙළ ගුලියක් - සෙම තලියක්  ඔබේ සපත්තුවට සෙරෙප්පුවට පෑගී, ඔබේ සරමෙහි  කලිසමෙහි සාරියෙහි තැවරී ඔබේ ගෙදරට යන හැටි දකින්නට ඔබ කැමතිද? 

ඔබට සෙම් රෝගයක් ඇත්නම් ප්‍රතිකාර ගත යුතුයි. ඒවා ඉහලට ඇද කටට ගෙන පාරට හැලීමට ඔබට අයිතියක් නැහැ. බීඩියක් සුරුට්ටුවක් සිගරට් එකක් බීව නිසා හෝ, බුලත්විටක් කෑම නිසා හෝ, කහට තේ එකක් බීව නිසා හෝ ගැබිනියක වූ නිසා හෝ, රෝගියෙකු වූ නිසා හෝ හතර වටේ කරන කෙළ ගැසීම නොහොබිනා අසික්කිත ක්‍රියාවක් බව එසේ කරන අන් අයට කියා දීමේ යුතුකමක්ද ඔබට තිබෙනවා. එය පාසලේදී කළ හැකියි. පුහුණු වැඩ සටහන්වලදී කළ හැකියි. දේශනවලදී කළ හැකියි. කාර්යාලයේදී වැඩපලේදී කළ හැකියි. බණ දේශනාවලදී කළ හැකියි. 

බසයේ රියදුරු පාර දිගට බසයේ දකුණු පැත්තෙන් බුලත් කෙළ ගසමින් ගොස් අවසානයේදී කට සොදාහරින්නේත් පාරට. කොන්දොස්තර පාර දිගට බසයේ වම් පැත්තෙන් කෙළ ගසමින් ගොස් අවසානයේදී කට සොදාහරින්නේත් පාරට. වායු සමීකරණය කරපු සුඛෝපභෝගී වාහනවල යන සමහර අයත් වීදුරුව පහත් කරලා යන වාහනෙන් කෙළ ගහනව. ටයි කෝට් දාපු අයත් හයි හීල්ස් දාපු අයත් ඉවක් බවක් නැතිව කෙළ ගහනව. 

මේ පුරුද්ද අපේ රටෙන් ඉවත් කළ යුතුයි. නැවතත් කියන්නම් - පාරේ හෝ ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගසන්න එපා. එය කළ යුත්තේ මුත්‍රා කරන්නාසේ මළ පහකරන්නා සේ රහසින්. 

14. පාරට, පොදු ස්ථානයකට, ගලායන ඇලකට දොලකට කෙළ ගසන්න පුරුදුවෙලා ඉන්න කෙනෙකු පෙම්වතෙක් හෝ පෙම්වතියක් කරගන්න එපා. එය ඔබේ ජීවිතය විනාස කර ගැනීමක්. ඔබට ඔහු හෝ ඇය අවශ්‍යම නම් ඔහු හෝ ඇය ඒ පුරුද්දෙන් මග හරවා ගන්න. 

15. ඔබ පරිභෝජනය කරන ද්‍රව්‍ය අසුරා ඇති දවටන, පෙට්ටි, බෝතල් වැනි කිසිම දෙයක් වගේම බස් ටිකට්, දුම්රිය ටිකට්, අවලංගු ලොතරැයි පත් යනාදියත් කුණු කූඩයකට දමනවා මිස වෙනත් කිසිම තැනක අතහරින්න එපා. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ කුණු අතුගා එකතුකර පිරිසිදු කරනවා වැනි මහන්සි වන, කැත හිතෙන, භාරධූර කාර්යයක් නොවෙයි. ඔබේ අතේ ඉතිරිවන දවටනය වීසි නොකර කුණු කූඩයකට බහාලන්න කියා පමණයි. හිරිකිතයක් නැතිව දුම්රියෙන් බසයෙන් වාහනයෙන් එලියට අපද්‍රව්‍ය විසිකරන්නේ කොහොමද? තනි තනිව මේ පුරුද්ද නතර කරන්න පුලුවන් නම් මේක කොච්චර ලස්සන රටක් වෙයිද? 

16. ඔබ වෙළඳාම් කරන්නෙකු නම් ඉක්මනින් මුදල් ලබාගනු පිණිස හොඳින් නොපැසුණු පලතුරු වෙළඳ පොලට යවන්න එපා. මුදල් දී ඒවා ලබාගන්නා පාරිභෝගිකයා තමන් රවටා ඇති බව දැනගත් විට ඒවා මිළදී ගත් වෙළෙන්දාගේ සිට ඒවා කඩා වෙළඳපොළට එවූ අයවලුන්  දක්වාම ශාප කරනවා.   

17. ඔබ වෙළඳාම් කරන්නෙකු නම් අලෙවි කිරීමට සුදානම්ව තිබෙන එළවලු පලතුරුවලට වස විස ඉහින්න එපා. පාරිභෝගිකයා නොදැනුවත් නිසා ඔහු ඔබට ශාප නොකළත් ඔහුත් ඔහුගේ පවුලේ අයත් රෝගීවූ විට විශ්වය ඔබට ශාප කරනු ඇති. ඔබ විශ්වයේ ශාපය ගැන දන්නෙහිද?

18. කවදාවත් කුණුවී ගිය එළවලු, පලතුරු, මස්, මාලු විකුනන්න එපා. වෙළඳාමේදී ලාබ මෙන්ම පාඩුත් සිදුවිය හැකියි. ඒවා විඳගන්න හිත හදාගන්න. විශ්වයේ ශාපයට අසු නොවන්නට වග බලාගන්න.

19. හොරෙන් ගස් කපන්න එපා. ගස් යනු අද කාලයේ මුදල් බව සත්‍යයකි. ගසක් කැපීමෙන් ඔබට මුදල් සොයා ගත හැකි බවත් සොරකම අසු නොවූවොත් ඔබට පුද්ගලිකව සිදුවන හානියක් නැති බවත් සත්‍යයකි. එහෙත් විශ්වයේ ශාපයෙන් ගැලවීමට ඔබට කිසි දිනෙක හැකිවන්නේ නැහැ. ඔබ විශ්වයේ ශාපය ගැන දන්නෙහිද?

20. අවසර අරගෙන වුවත් ගසක් නොසිටවා ගසක් කපන්න එපා. ගසක් සිටවූ විට ඔබ මේ ලොවට ණය නැති පුද්ගලයෙකු බවට පත්වෙයි. එවැනි දෙයකින් ඔබට ලැබෙන සතුට අප්‍රමාන වනු ඇති.

21. ඔබට අසනීපකම් තියාගෙන රෝගියකු බලන්නට යන්න එපා. රෝගියකු බලන්නට යනවිට ප්‍රේතයකු ලෙස නොයා නිරෝගී කෙනෙකු ලෙස ප්‍රසන්න ලෙස සුදානම්ව, හොඳින් හැඳ පැළඳ යන්න. 

22. රෝගියකු බැලීමට ගිය පසු ඒ රෝගයේ බරපතලකම ගැන, ඒ රෝගයෙන් මියගිය අය ගැන, මිය නොගිය අය විඳින දුක් වේදනා ගැන කතා කරන්න එපා. රෝගියාගේ සිත පහන් වන ලෙසට, ඔහු දිරිමත් වන ලෙසට ඔබට කතා කරන්නට බැරිනම් රෝගියා බලන්නට නොගොසින් ඉන්න.

23. අවංකව ඔබගේ කාලය හෝ ශ්‍රමය හෝ පරිත්‍යාග කරන්න හැකියාවක් නැත්නම් කෙනෙකුට උදව් කරන්න අත ගසන්න එපා.  ඔබ බොරු කරන බව ප්‍රදර්ශනය වී ඔබ මිනිසුන්ට එපා වනු ඇති. ඔවුන් ඔබ පිළිකුල් කරන්නට පටන්ගනු ඇති.

24. ඉදිරියේදී උදව්වක් ලබාගැනීමේ යටි අරමුණක් ඇතිව නම් කිසි කෙනෙකුට උදව්වක් කරන්න එපා. ඔබ කරනුයේ කපටිකමක් බව කාට නොතේරුණත් ඔබගේම හෘදය සාක්ෂියට එය වැටහෙනු ඇති. හෘදය සාක්ෂිය සමග ගනුදෙනු කිරීම කළයුත්තේ ප්‍රවේසමෙන්.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි