Posts

Showing posts from June, 2020

සොබා දම් නීතිය

ගහේ ගෙඩි හැදෙන්නේ ඒ ගහට කන්න නොවේ ගඟේ ජලය එකතු වුණේ ගඟට බොන්න නොවේ මලේ සුවඳ ඒ මලටම විඳගන්නට නොවේ ඉරේ එළිය - ඉරට එළිය ඕනැ වෙලා නොවේ අන් කෙනෙකුට සෙත සලසන එකයි සොබා දම් නීතිය එයයි සොබා දම් නීතිය දිවිය හොඳයි අප සතුටින් සිටිනා විටදී ඒ දිවියම වඩා හොඳයි - අප හින්දා තවත් කෙනෙකු සතුටුවෙලා හිඳිනා විටදී රිදුම් දැනෙන්නේ තවමත් ජීවත්වෙන හින්දයි සතුටු වෙන්න ජීවිතයේ හැම පිටුවෙම පාට පාට හරිම ලස්සනයි.

කොරෝනා

නින්දෙන් ඇහැරී බලන්න -  ලෝකය වෙනස් වෙලා මැකාව වතිකානුව අනුරාපුර මිනිසුන් නැති තැන් වෙලා   නිහඬ නිසොල්මන් ඩිස්නියක්   ශෘන්ගාරය නැති පැරිසියක් බිමට වැටුණ නිව්යෝකයක්   කිසිවෙක් නොතකන කිසිවෙක් නොබලන චීන මහා ප්‍රාකාරයක් ලෝකෙට ඉතිරිවෙලා   මාපිය සොයුරන් මිතුරන්ගෙන් දුරස්වීම ආදරය වෙලා   වැළඳගැනීමත් මුහුණ සිඹීමත් තහනම් චරියා රටා වෙලා  ලෝකය යයි හෙමිහිට ගමනේ සුන්දරකම නොනැසී අහස පොලොව හා ජල දහරා   ඇත  අප නැතුවත් රැකිලා අපි  සන්වර මිනිසුන් විලසින්   ඒ ලෝකය වෙත පා තබමූ 

නංගියේ

එක කුසේ ඉපදිලා මගේ නංගී   වුණත් තවත් සොයුරන් කැලක අක්කණ්ඩියයි නුඹ යොවුන් විය පෙම් හැඟුම්   මටත් කලියෙන් ඇවිත් නුඹෙ හිතට රිංගලා නුඹ අපෙන් වෙන් කළා හිනා කට අයාගෙන මඩක්කුව අත දරන් මල්ලිලාටයි මටයි   ලුණු ඉහපු හීල්බත් පොල් අනා කැවූ ඔබ   එක කුසේ ඉපදිලා මගේ නංගී වුණත් තවත් සොයුරන් කැලක අක්කණ්ඩියයි නුඹ ප්‍රෙමයේ මාළිගා සුන්වෙලා විඳවලා   අයියණ්ඩියට කලින්   නංගියෙක් මියැදෙන්න     ලෝ දහම වියරු විය යොවුන් විය පෙම් හැඟුම්   මටත් කලියෙන් ඇවිත් නුඹෙ හිතට රිංගලා නුඹ අපෙන් වෙන් කළා

අයියයි මල්ලියි

ලෝකය ජයගන්නට යන ගමනේ   සොයුරෙකු වගේම මිතුරෙකු වී   අම්මයි අප්පච්චියි ගාවට     එක කුස උපන් -   අයියේ ඔබ විතරයි මට ඉන්නේ   අයියේ ඔබ විතරයි   ලොවක් පිරෙන්නට සෙනෙහස පුරවා   අසලින් ඉන්නට සෙවනැල්ලක් සේ   අම්මයි අප්පච්චියි ගාවට   එක කුස උපන් - මල්ලියෙ ඔබ විතරයි මට ඉන්නේ   මල්ලියෙ ඔබ විතරයි   අහසේ හිරුවී ඔබ දිදුලද්දී - මම ඒ කිරණින් පන ගන්නම්   රෑට පිපෙන   සුවන්දැති සුදු මල් ගෙන -  ඔබේ ගමන් මග  සරසන්නම්   අයියේ ඔබ මට   මගේ දෙවෙනි   අප්පච්චි   වගෙයි   ඔබගේ සවියට නිරතුරු කැපවී - නිබඳව සහයට ළඟ ඉන්නම්   දියුණුව පතමින් රැකවරණය දී - ඔබගේ යහපත සලසන්නම්   මල්ලියෙ ඔබ මට   මගේ දෙවෙනි අම්මා වාගෙයි