සුන්වූ බලාපොරොත්තු


තොල් රතු පාටයි ඇස් නිල් පාටයි 
මගෙ  කිරිකැටියගෙ අත් පා සිනිඳුයි 
ඒත් මගේ හද ගැහෙනා රාවේ 
එයාට කිසිවිට දැනෙන්නෙ නෑ
"මූදු  පතුල යට ඉඳලා...." කියමින්  
මා ගයනා දරු නැළවිලි  ගීයෙන් 
මේ පුතණ්ඩියා නිදන්නෙ නෑ 
ගීය හදිසියේ නවතා දැමුවත් 
කවදාවත් ඔහු සැලෙන්නෙ නෑ 
තොඳොල් වෙවී මං මොනවා කීවත් 
මා දෙස බැල්මක් හෙලන්නෙ නෑ 

රඟහල ඇතුලේ වේදිකාව මත 
දාහත් වසරක් එදා මෙදා තුර 
තිරේ ඇරෙද්දිත් තිරේ වැහෙද්දිත් 
අම්මා යයි හඬ නොනගන දරුවෙක් 
කිරි කට ඉල්ලා නොහඬන දරුවෙක් 
හුස්ම නොගන්නා රෙදි බෝනික්කෙක් 
කවමදාකවත් අම්මකු නොවනා
අම්මා කෙනෙකුගෙ දරුව වුණා  

පැතුම් සුසුම් හා හැඬුම් පොදි  මැදින්
නැළවිලි ගී තවමත් කියැවෙයි  
පාට සායමින් තරුණ වුවත් මං 
එදා වගේ නෑ දැන් මහලුයි 
ඇස් ඉස්  මස් ඇති හිනා කටක් ඇති 
පින් ඇති පණ ඇති දරුවන් ලබනා 
කාලය ගිලිහී අවසානයි.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි