ඔහුට ආදරය දෙන්න


හිරු එලිය වැටුණ තැන් පටන් ඔහු දුවනවා 
නොනවතින පා සතර රිදුම් දෙයි කකියවයි
ලගින්නට බිමක් නැත නොහැක නොතෙමී ඉන්න 
හිසට වහලක් නොමැත අව් රශ්මි වලකන්න 

බඩ සාය  දුරලන්න ඉඳුල් බත් ඇට තියා 
පාන් රොඩු වාටිවත් නෑ තවම හමුවුනේ 
කණ වැකී නැත කිසිත් මුදු මොළොක් වදන් වැකි 
උපන්දා සිට මෙතෙක් රැවුම් ගෙරවුම් මිසක 

මහන්සිය දුරලලා වැතිරිලා සැප ගන්න 
කොට්ට මෙට්ටා තියා  පරණ රෙදි කෑල්ලක් 
ගෝනි කඩමාල්ලක් පවා තව හීනයක් 

නමින් බල්ලකු වුවත් බොහෝ මිනිසුන් වගේ 
නමට ගැලපෙන වැඩක් කිසිකලක නොකරමින් 
නිරතුරුව දුවන්නේ සොයා හොඳ ගුණවතෙක් 
පාරමී දම් පුරන සිල්වතෙක් පිංවතෙක් 

අනේ සිල්වතාණෙනි අනේ පිංවතාණෙනි 
මේත් එක සත්වයෙක් 
දෙපෝදා පංසලේ දැහැර මණ්ඩිය ගොතා 
"සියලු සත්වයන් හට" සුවය පතනා ඔබට 
හැකිද මෙය කරන්නට?

මව්පියන් හැර දමා අයාලේ යන මොහුට 
ඔබෙ දෙපා ළඟ වැටී ලෙවකන්න ඉඩදෙන්න
දැවී වියැලුණ බඩට පුංචි අහරක් දෙන්න 
බොකුටු හිසකේ අතර ඇඟිළි තුඩු රඳවන්න 
ආදරය මුසු වදන් සවන් යොමු කරවන්න 

එකම එක වතාවක් ඔබ එහෙම කලෝතින් 
පපුවෙ ගැඹුරුම තැනින් මතුව එන භක්තියෙන් 
කැපව ඔබ රකියි ඔහු තබා දිවි පරදුවට 
ආදරේ හිලව්වට 

කවම කවදාකවත් හීනෙකින්වත් ඔබට 
හිතන්නට බැරිතරම් - දෝරෙ ගලනා තරම් 
ආදරය පුදයි ඔහු ජීවිතය ඇති තුරා 

ආදරේ ගණුදෙනුව හොඳින් දන්නා කෙනෙක් 
ඔහු තරම් නෑ කිසිත් හොයාගන්නට තවත් 









Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි