සත්ව කරුණාව

 සත්ව කරුණාව

 

මේකට දෙන්න ඕනැ මාතෘකාව සත්ව වෛරය කියන එකයි. ඒත් ඒක මාතෘකාවකටවත් නොගැලපෙන එකක්. නිසා මාතෘකාව 'සත්ව කරුණාව' කියලා තියාගෙන කියන්න ඕනැ ටික කියන්නම්.


මම පුංචි කාලයේ මටත් අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ටවත් සත්ව කරුණාව කියලා දෙයක් තිබුණේ නෑ. ලොකු මිනිස්සුන්ට නම් තිබුණේම නෑ. ඉස්කෝලෙකින්වත් පන්සලෙන්වත් ගමෙන්වත් ගෙදරින්වත් කිසිකෙනෙක් සතුන්ට කරුණාව දක්වන්න අපට ඉගැන්නුවේ නෑ. ආදරය දක්වන්න ඉගැන්නුවේ නෑ.


අපේ ගෙදර බල්ලො හැදුණා. පූසෝ හැදුණා. අපි කළේ එයාලට කන්න දුන්න එක විතරයි. එයාලා එක්ක කතා කරන්න, එයාලා කියන එක අහන්න, එයාලට ආදරේ දෙන්න, එයාලගෙ ආදරය ලබන්න අපි දැනගෙන හිටියෙම නෑ. ගමේ ගෙවල්වලත් තත්වය ඕකමයි.


අපේ ගෙදර කුකුල්ලු ඇතිකළා. මුදල් හදිසියක් වුණොත් විකුණා ගන්න. ( එහෙම ඒවා හරියට වුණා. ලොකු පවුලක පුංචි අය නිතරම අසනීප වුණා. කන්න බොන්න ගිය ගිය වියදමත් සැර ඇති.) කිකිලියන්ගෙන් බිත්තර ලැබුණේ අපට  විකුණා ගන්න. විකුණන්න කුකුල්ලු නැතිවුනහම බිත්තර දමන කිකිළියොත් වික්කා. කුකුල්ලු ගන්න තම්බියෙක් ආවා බයිසිකලේකින්. කුකුළා අල්ලලා අත උඩ තියාගෙන බරට අනුව තමයි -තරාදියකින් කිරලා නෙවෙයි - වටිනාකම තක්සේරු කරන්නෙ. උත්සවයක් හෝ විශේෂ අවස්ථාවක් වුණොත් මරලා මසට ගත්තෙත් කුකුළන්මයි. එහෙම කුකුළෙක් මරන්න ඕනැ වුනහම අම්මා ගමේ වාගේ වැඩ පුළුවන් කෙනෙකු ගෙන්වා ගත්තා. මිනිහා කුකුළෙකුගේ බෙල්ල කරකවලා ඇදලා සතා මරණ හැටි මම හොරෙන් බලාගෙන ඉඳලා තියනවා. ඊට පස්සේ උණු වතුර එකකට දමලා ටික වෙලාවක් තිබ්බහම පිහාටු ගලවන්න ලේසියි. පස්සේ තමයි කපන්න පටන් ගන්නේ. ඔය වැඩේදී අනේ අපේ කුකුළා නේද කියලා හැන්ගීමක් මට දැනුණේ නෑ. මාමණ්ඩි ගෙදර ආව දවසක එහෙම කෙනෙක් හොයාගන්න බැරුව එයා එයාගෙ තුවක්කුව අරගෙන කුකුල් පට්ටියේ හිටපු ලොකුම කුකුළට වෙඩි තිබ්බා. ශුද්ධ කළෙත් කැපුවෙත් මාමණ්ඩිමයි.


ඉඳලා හිටලා - කියන්නේ පට්ටියෙ කුකුල්ලු කිකිළියන් ගණන අඩුවෙනකොට අම්මා බිත්තර එකතු කරලා කිකිළියෙක් ලවා රැක්ක වෙව්වා. දහයියා බේසමක් උඩ බිත්තර තියලා කිකිළි උඩින් තිබ්බහම එයා උඩ ඉඳගෙන ඉන්නවා. බඩගිනි වෙනකොට ගිහින් කාලා ඇවිත් ආයෙත් ඉඳගන්නවා. ඔහොම දවස් විසි එකක් විතර ගියහම පැටව් එළියට එනවා. එළියට එනකොට උන්ගෙ හොටවල් ඇලිලයි තියෙන්නෙ. මට මතකයි අම්මා ලුණුවතුර ගාලා ඒවා ගලවනවා. ඊට පස්සෙ කිකිළි එයාගේ පැටව් බලා ගන්නවා. ඉතින් ඔය පැටව් කිචි බිචි ගාන හැටි, අම්මගෙන් බිම පහුරු ගාන්න ඉගෙන ගන්න හැටි, අම්මා අඬගහනකොට දුවගෙන යන හැටි අපි සුන්දරත්වයකින් දැක්කෙ නෑ. ඒවා සාමාන්‍ය දේවල් හැටියට තමයි දැක්කෙ. උන් ලොකු වුනහම උන්ට අත්වුණෙත් අර ඉරණම මයි.


ගමේ හිටපු එක කිරිඅත්තෙකුට තුවක්කුවක් තිබුණා. උන්දැ ඉඳලා හිටලා හැන්දෑවට වැවට ගිහින් කොකෙක් මරාගෙන ආවා. තුවක්කුව කරේ තියාගෙන කොකා අතින් එල්ලාගෙන ගම මැදින් ගියේ හරි හපන්කමක් කළ කෙනෙක් වගේ. කව්රුවත් මොනාවත් කීවේ නෑ. එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.


වැව් තාවල්ලේ හරියට කොරවක්කෝ හිටියා. කැටපොල් හදාගෙන හිටපු කොල්ලෝ ඒකෙන් විදලා එකෙක් දෙන්නෙක් මරාගෙන ගෙදර අරගෙන ගියා.


 හාවුන් දඩයම් කරන්න බල්ලෙක් පුරුදු කරගෙන හිටපු කොල්ලෙක් ගමේ හිටියා. අපේ වත්තෙ හරියට හාවො හිටියා. මේ කොල්ලා උරුවම් බබා යනකොට බල්ලා එයාගෙ පස්සෙන් ගියේ පිස්සුවෙන් වාගෙ. හාවෙක් පනිනවා දැක්ක ගමන් බල්ලා පන්නලා පන්නල ගිහින් අල්ලා ගත්තා. හැම තිස්සෙම නෙවෙයි. හැම වෑයමක්ම සාර්ථක වුණේ නෑ. හැබැයි එහෙම දඩයම් සිද්ද වුණා.


අපි  ඇති කරපු හරක් වුණත් අන්තිමට ගියේ තම්බි ලඟට. මුදල් නැති නිසා හරකුන් ඇති කළේ මසට විකුණා ගන්නමයි. උන්ගෙන් කිරි ගත්තේ බොනවාටත් වඩා විකුණා ගන්න. එළදෙනක් පැටියෙක් වැදුවට පස්සෙ  එයා ලොකුවෙනකල් වත්ත පුරා දුවන හැටි - සෙල්ලම් කරන හැටි - අපි බලාගෙන හිටියා තමයි. නමුත් හොඳට උසට මහතට හැදුනායින් පස්සෙ කිසිම අනුකම්පාවක් නැතුව එයාව විකුණන්න සිද්ද වුණා. ඒක ගමේ - ප්‍රදේශයේ - සාමාන්‍ය සිදුවීමක්. අනේ කියන ඒවා අනේ පව් කියන ඒවා තිබුණේ නෑ. 


කාලේ බයිසිකල්වලින් ගෙන් ගෙට ගිහින් වෙළඳාම් කරන මිනිස්සු හිටියා. මාළු වගේම මසුත් වික්කේ එහෙම. ඉතින් හරක් මස් වෙළෙන්දත් ඉඳලා හිටලා මිදුලලට ඇවිත් බෙල් එක ගැහුවා. සල්ලි තිබුණා නම් අම්මත් මස් මුලක් අරගෙන උයලා අපිට කන්න දුන්නා. හරක් මස්! සමහරවිට අපි විකුනපු හරකගේ මස් වෙන්නත් පුළුවනි. 


කොහොම වුණත්, සතුන් ගැන කරුණාවක් මිනිස්සුන්ගෙ හිත්වල කොනකවත් තිබුණේ නෑ. නයි පොලොංගු දැක්ක තැනක මරලා දැම්මා. අල්ලලා කැලේට දැමීමක් ගැන දන්නෙත් නෑ. කබරගොයෙක් වත්තට ආවොත් ළමයි ගල්වලින් ගගහා ඌටත් හිරිහැර කළා. ගල්වලින් ගහනකොට හුලං පුම්බලා ශරීරය මහත් කරගෙන ආරක්ෂා වෙන්න දඟලනවා බලන්න ළමයි කැමතියි. උගෙන් වෙන සේවය ගැන බිංදුවක්වත් දැන සිටියේ නෑ. තලගොයි මරාගෙන කෑවා.


බල්ලන්ටත් ගල්වලින් පොලුවලින් ගැහුවා. හරකුන්ටත් ගැහුවා. හරක් ඇවිත් වගා පාලු කරන බව ඇත්ත. නමුත් උන්ට ගඩොල් කැටවලිනුයි පොලුවලිනුයි ගහන්න හොඳ නැති බව දැන හිටියේ නෑ. ගෙදරට එන ගස් ගෙම්බන්ට මහා හයියෙන් පයින් ගහලා තමයි එලෙව්වේ. වෙන එකක් තියා, පතහක දියබරියෙක් දැක්කොත් ඌටත් ගල් කැටයක් විසිකරන්න ඕනැ වුණා. ඉතින් වැවේ වතුර හිඳුනහම ගමේම මිනිස්සු වතුරට බැහැලා මාළු අල්ලාගෙන "මිරිදිය මත්ස්‍ය සම්පතේ අස්වැන්න" නෙලාගන්න එක ඉතාම සාමාන්‍ය දෙයක් බව අහන්න දෙයක් නෑ. සමහර මිනිස්සු ඉබ්බොත් මරාගෙන කෑ බවක් අහලා තිබුණත් මම ගැන නම් එච්චර දැන හිටියේ නෑ.


හැබැයි ගමේ ඔක්කොම බුද්දාගම් කාරයෝ. වෙසක්වලට  පොසොන්වලට පන්සලේ පින්කම් තිබුණා. සල්පිල් තිබුණා. බුද්ධ පූජා තිබුණා. පෙරහරත් තිබුණා. කට්ටිය සිලුත් ගත්තා. හිත්වල කරුණාව නැතුව ඔක්කොම දේවල් කළා.


ඉතින් මතක් කරලා බලනකොට මගේ පුංචි කාලයේ මම ගතකරලා තියෙන්නේ වැදි ජීවිතයක්. සතුන්ටත් ජීවත්වීමේ අයිතියක් තියනවා කියන එක  මම ඉගෙන ගන්ට ඇත්තේ, ඉගෙන ගන්න ගමෙන් පිටව යන්නට සිදු වුණ නිසාම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. 


අපේ ගමේ මිනිස්සු "පෙර ආත්මවල" තම තමන් කරපු පව් පින්වල විපාක විඳිමින් ඔහේ ජීවත් වුණා. තවත් කෙනෙක් දිහා බැලුවේ නෑ. දරිද්‍රතාවය මහ ලොකුවට තිබුණු නිසා එහෙම  බලන්න තරම් විදියක් තිබුණෙත් නෑ වෙන්න ඇති. නමුත් වැඩිහිටියන්ට සත්කාර කිරීමේත් ගිලන් වෙලා ඉන්න අයට සත්කාර කිරීමේත් සංස්කෘතියක් ගමේ ඇති කළේ මගෙ අම්මා. මම එහෙම අම්මෙකුගේ පුතෙක් වීම ගැන මට සතුටුයි. ගෙදර මොනවාහරි විශේෂ දෙයක් ඊවොත් අම්මා ඒකෙන් ටිකක් ගමේ අසනීපයෙන් ඉන්න කෙනෙකුට, එහෙම නැත්නම් වයස්ගත කෙනෙකුට, එහෙමත් නැත්නම් බබෙක් හම්බවෙන්න හිටපු කෙනෙකුට යැවුවා. සමහර වෙලාවට ඒකෙන් ටිකක් යැවුවා. සමහර වෙලාවට බත් මුලක් බැඳලා යැවුවා.


මිනිසුන් ගැන කරුණාව දයාව පාන්න ගමේ මිනිස්සු ටික ටික හුරුකෙරුවෙ මගේ අම්මා. අම්මා තුළ හිටපු සමාජ සේවිකාව අවදිවුණාට පස්සෙ ක්‍රමයෙන් මිනිස්සුන්ට සත්ව කරුණාව වැටහෙන්නට ඇති කියලා මට දැන් හිතෙනවා.

Comments

Popular posts from this blog

යසෝදරාවත

කොරෝනා

ගං ඉවුර සිට බලනු මැනවි