අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං

 හපන්නට අඹරන්ට තවත් නම් බැරි හැඩයි 

දත් තවම තිබෙනමුත් ඇඳි දෙකම රිදුම් දෙයි 

දත් ටිකත් ගැලවුනොත් ලොඹු කටක් ඉතිරි වෙයි 

කටේ දත් ටික නැතුව වයස්ගත වෙන්නෙ ඇයි 


කටට කිසි රහක් නෑ බත් කන්න බැරිවෙලා 

කෑම අඩු නිසාවෙන් ගතට පන නැතිවෙලා 

කටහඬත් සද්දෙ නෑ උගුරෙ සෙම හිරවෙලා 

ලෝකෙටත් වැඩක් නෑ මහලු වී  ගුලිවෙලා 


ඉඳගන්නකොට පුටුවෙ ම්හ් කියා කියැවෙනව

නැගිටගන්නට යද්දි දනිස්දෙක කකියනව 

සරීරේ බර ගන්න දණහිසට බැරිවෙනව 

වයස්ගත වී ඉන්නෙ ඇයිද හිත වදදෙනව 


අත් කකුල්වල ඇඟිලි නවනකොට රිදෙනවා 

පය ගසා ඇවිදිද්දි විලුඹ යට රිදෙනවා 

රිදෙන තැන් හොය හොයා මංම අත  ගානවා 

උපන් දිනයක් තවත් ඕනැ නෑ හිතෙනවා  


සියලු දේ අතැරලා නිදහසේ මට      යන්න 

කිසිදු වේදනාවක් මගෙ ගතට නොදැනෙන්න 

නිදා සිටිනා විටදි සුටුස් ගා         පනයන්න 

මාරයෝ ඉක්මනින් මා වෙතට පැමිණෙන්න 


නිරෝගී සුවේ රස හිත හිතා සැනසෙන්න 

ලෙඩ රෝග හැදෙන්නට එපා බෑ විඳවන්න 

පරක්කුයි දැනටමත් මේ ලොවින් චුතවෙන්න 

මාරයෝ ගෙනියන්න ඉතිං මං ගෙනියන්න 

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි