Posts

දූ කුමරී

රන් කිරි කට ගානා විටදී  තොදොල් වෙවී බහ තෝරද්දී  හබුන් කටයි බත් කට කද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා  මුනින් අතට නුඹ පෙරලෙද්දී  බඩගා දණගාමින් යද්දී  සිඟිති දෙපා පොඩි ඔසවද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා  දවසක ලොකු ළමයකු වෙද්දී  රඟහල කෙළිබිම ජය ගද්දී  කෝඩු  ලෙසින් සරසවි යද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා දුකත් සැපත් එකසේ විඳගන්නට  මියෙනතුරාවට එක්ව සිටින්නට  මගෙ පුතුගේ මනමාලිය වන්නට  ආ හැටි පුදුමයි දූ කුමරී  පෝරුව මත ඔබ මා පුතු සමගින්  හිටගෙන සිටිනා අයුරු බලන්  හිනාවෙලා මට සඟවන්නට බෑ  සිත් සන්තෝසේ දෝරෙ ගලාලා  වෑහෙන සීතල කඳුලූ 

හබුන් කටක්

අන්න පුතේ යාලුවෙක් ඇවිත්  ඔයාට පේන්න බත් කනවා  බත් ඇටයක් අත් දෙකින්ම අරගෙන වටපිට බලබල- ටික ටික හප හප   ඔයාට පේන්න බත් කනවා  ටිං ටිං  ගාලා සිංදු කියනකොට  පිම්බුණ වලිගය ගැස්සෙනවා  එහාට මෙහාට පැන පැන  දුව දුව  කිරි දත් පේන්න හිනැහෙනවා  ගස් දිග ඉහලට පහලට දුවමින්  මොනවද හොයන්නෙ කලබලයෙන්  හිඳින්න පොඩ්ඩක් ඔයාට තනි නෑ  යාලුවො  එයි දැන් හතර වටින්  ඕන්න ලේනෝ ඔයාට පේන්න  අපේ පුතත්  හපනෙක් වෙනවා  එක දෙක තුන මං  ගනින්න ඉස්සර  මගේ අතින් බත් කට කනවා 

මගේ ගම

පාන්දරට කුකුළන් හඬලන සද්දේ  හවසට වැවේ දියබුං ගහනා සද්දේ  කවි ගී කියා හරකුන් දක්කන සද්දේ  වෙනුවට ඇහෙන්නේ යන්තරවල සද්දේ  තැන තැන අහස උස මන්දිර ඉදිවෙනවා  හිරු සඳු තරු පවා දෑසට නොපෙනෙනවා  ගහ කොළ දැවටි සුළඟක් ගත  නොගැටෙනවා  නගරයෙ  ජීවිතය මගෙ හිත කළඹනවා  නිල්  කඳු වළල්ලක් මායිම් නොවුනාට   ගලන ගඟක් අහලකවත් නැතුවාට  ගොඩ මඩ  දෙකම සරු පලබර නොවුනාට   මගෙ  ගම හැරුණුකොට නිවනක් නොවේ මට (චන්ද්‍රවංශ මුවන්වැල්ල)  

විසිරුණු කැදැල්ලක සිට

රත්තරන් මුදු ගැලවිලා  රන් කෙන්ද අවතැන් වෙලා  සිහින පිරවූ මාලිගා සුළි  සුළඟකින් සුන් බුන් වෙලා  කොහේදෝ ඈතක බලාගෙන  සුසුම් පාකර හරින්නී ඈ  මාත් සමගින් තනිවෙලා  වසන්තය නැති යොවුන් ලෝකෙක  ඉබාගාතේ ඇවිද යන මා  ඇයත් සමගින් තනිවෙලා. සිත පෙලයි ගත වෙවුලුවා රිදවයි  රිද්මය බිඳී ජීවිත ඇදෙයි  මොහොතකට නවතියි  යළි ගැහෙයි  තුරුණු හදකට නුහුරු හැඟුමන්  බියකරුයි නපුරුයි. හැම දිනකමත් හෑම විටකත්  කැදැල්ලෙන් පිටවෙන්ට කලියෙන්  මෑණියන්ගේ නළල් තලයේ  ආදරේ පිරි හාදු රඳවනු  මා බලා සිටියා  එදා  ඔබේ ලෝකය මා කියා  කියූ හැටි මතකයි සදා  වෙනත් ලෝකෙක කිරුළු පැලඳුවෙ  ඇයි  පියාණනි කිව හැකිද මට  දියණියකගේ පියකු වූ බව  කෙසේනම් අමතක කළෙද ඔබ.

මගේ මුණුපුරන්ට .....

ඔබේ කටහඬ තමා දරුවනි ලොවැති මිහිරිම ගීය වන්නේ ඔබේ දසුනයි මගේ දෑසට  ඉතා පියකරු දසුන වන්නේ  ඔබේ දිවි ඇති තුරා නම් මට නොහැකි වෙනු ඇති එය කරන්නට මගේ දිවි ඇති තුරා බෙදනෙමි අසීමිත ආදරය ඔබ වෙත

පෙම් කරන්න ආසාවෙන් හිටියා

ප්‍රේමවන්තයකු හමුවුන දවසක  සීතල සඳ එළියේ එළිමහනේ  අත්වැල් බැඳගෙන පෙම් බස් දොඩමින්  ඇවිදින්නට ආසාවෙන් හිටියා යෙහෙළියන්ගෙ ඉරිසියාව අවුලා  පෙම් කරන්න ආසාවෙන් හිටියා  සඳ තරු බැබලුණ අහස තලය යට  නෙතු දල්වාගෙන බලා සිටියදී  අහසත් පොළවත් ගිනියම් කරගෙන  ඝන සුළං සමග  කලු වලා රැගෙන  අහසේ හෙන හඬ විදුලි එළි දිගේ  නන්නාඳුනනා යකු ආවා  නා කපනා වැහි වැටෙන ඇහිල්ලේ  කළුවර කුටියක මා හිරකරගෙන  යකුගේ ගොරහැඩි අත්  පා යුගලය  ඩා  බිඳු රූරන දුඟද හමන ගත  හිත නැති මා ගත ජය ගෙන එඩියෙන්  යක්ෂ ලෝකයට පලා ගියා. යෙහෙළියනේ  මගෙ  මුහුණ හොවන්නට  නුඹලගෙ උරහිස් පමණයි ඇත්තේ  පව් සෝදාගෙන හිනාවෙලා මට  ජීවත්වෙන්නට ඉඩ දීපල්ලා.

ගං ඉවුර සිට බලනු මැනවි

සබඳ  ගං ඉවුර සිට  බලනු මැනවි නොබියව නොපැකිලව  පළමුව මා දෙස  දෙවනුව ගඟ දෙස. පෙනේද මා  පාවෙන හැටි පීනන හැටි  ග්ලග් ග්ලග් ග්ලග්  ගිලෙන හැටි  කිමිදෙන හැටි  යලි මතුවෙන හැටි. පෙනේද දිය බුබුලු  පෙනෙන දුර මෑතින්  නොපෙනෙන දුර ඈතින්  එදත්  මතුවූ  අදත් මතුවෙන  මේ පුංචි දිය බුබුලු  ගං ඉවුර සිට අතක් පෙව්වත් පයක් එබුවත්  ගං කුස තුලට  ඇදගන්නා තරම් බියකරු මේ පුංචි දිය බුබුලු මා සමග ආවෝ  අතරමග ගිලෙද්දී  ගල්පරවල හැපෙද්දී  රුක් දෙබුක්වල හිරවෙද්දී  තවමත් මේ ගඟෙහි කෙළිමින්  මෙතරම් දුරක් තරණය කළ මා  ජගතෙකු නොවෙද  සැබැවින්ම 

සිඟිති දුවේ

මල් පෙති සේමා - සියුමැලි උවන ඔබේ  නිල්මිණි සේමා-  දිලිසෙන නයන යුගේ සුරඟන රඟනා - සුන්දර සිහින ලොවේ  රන්කිරි කට ගා- සරන්න සිඟිති දුවේ 

ලස්සණ හැන්දෑව

එකමත් එක දවසක් දා  ඔන්න අපේ ඉර මාමා  දවස තිස්සෙ වැඩ කරලා  මහන්සියක් දැනුණ  නිසා  මූණ ටිකක් හෝදගන්න  මූදට බැස්සා. මූදට පය ගහපු ගමන්  සීතල වැඩි යයි කියලා  උඩ පැනලා දඟලනකොට ඉර මාමගෙ  ඇඟේ තිබුණ  පාට දියවුණා. එකටවෙලා තිබුණ පාට  හතම දියවුණා.  මූද පුරා පාට පාට  පාට ජාති ඉහිරෙනකොට  ඉර මාමට පෙරවගන්න  අහස තලේ විසිර තිබුණු  සිහින් සිනිඳු වලා ටිකෙත්  පාට ගෑවුණා. පාට වලාකුළු අහසේ  හෙමින් හෙමින් පාවෙනකොට  ඉර මාමගෙ  ඉහට උඩින්  චිත්‍ර මතුවුණා. ඉර මාමයි මහ මුහුදයි  කහ රතු දම් වලාකුළුයි  කතාවෙලා කළා වගේ  අහස තලේ ඇඳුණු චිත්‍ර  හරිම ලස්සනයි. ලහි ලහියේ ගෙවල් බලා  පියඹා යන කුරුළු රෑන්  බලමින් සිටි පුංචි ළමයි  පාට වලාකුළු දැකලා  උඩ පැනලා කෑගහලා  සතුටක් වින්දා. උදේ පිපෙන මල් වාගේ  පුංචි ළමයි හිනැහෙනකොට  හිනැහි හිනැහි දඟලනකොට  ඉර මාමට හරි ආසයි  ඊට පස්සෙ හැමදාමත්  ළමයින් සතුටින් තියන්න  ඉර...

නොකෙරෙන දීගේ

වාන කැඩෙනකන් වැහැලා වෙල් යායම මූද වගෙයි  රෑණ ගිරව් ලේන පැටව් පේන දුරක නැති ගානයි  හීන දිගේවත් එනකල් දින ගැන්නා ගාන වැඩියි  ජානවලින් උරුම වෙච්ච නපුරුකමට හිත පෑරෙයි  මාන බලන් මං හිටියට වෙනකල් නොකෙරෙන දීගේ  පාන පෙමින් මුකුලිත නෑ මුකුළු සිනාවක් ඈගේ  පීන පීන ඉන්න වුණා තනියම පෙම් ලොව මාගේ  තාන  තනම් කවි ලියපං ගජමන් නෝනා වාගේ