එකමත් එක දවසක් දා ඔන්න අපේ ඉර මාමා දවස තිස්සෙ වැඩ කරලා මහන්සියක් දැනුණ නිසා මූණ ටිකක් හෝදගන්න මූදට බැස්සා. මූදට පය ගහපු ගමන් සීතල වැඩි යයි කියලා උඩ පැනලා දඟලනකොට ඉර මාමගෙ ඇඟේ තිබුණ පාට දියවුණා. එකටවෙලා තිබුණ පාට හතම දියවුණා. මූද පුරා පාට පාට පාට ජාති ඉහිරෙනකොට ඉර මාමට පෙරවගන්න අහස තලේ විසිර තිබුණු සිහින් සිනිඳු වලා ටිකෙත් පාට ගෑවුණා. පාට වලාකුළු අහසේ හෙමින් හෙමින් පාවෙනකොට ඉර මාමගෙ ඉහට උඩින් චිත්‍ර මතුවුණා. ඉර මාමයි මහ මුහුදයි කහ රතු දම් වලාකුළුයි කතාවෙලා කළා වගේ අහස තලේ ඇඳුණු චිත්‍ර හරිම ලස්සනයි. ලහි ලහියේ ගෙවල් බලා පියඹා යන කුරුළු රෑන් බලමින් සිටි පුංචි ළමයි පාට වලාකුළු දැකලා උඩ පැනලා කෑගහලා සතුටක් වින්දා. උදේ පිපෙන මල් වාගේ පුංචි ළමයි හිනැහෙනකොට හිනැහි හිනැහි දඟලනකොට ඉර මාමට හරි ආසයි ඊට පස්සෙ හැමදාමත් ළමයින් සතුටින් තියන්න ඉර...