පිංකම්


මළමිණිය වල දමා 
ගෙදර ආවට පස්සෙ 
ප්‍රියයන්ගෙ වෙන්වීම 
දුකක් බව වටහගෙන 
දුක බෙදා ගත්ත සේ 
බත් බෙදාගෙන කන්ට 
ඉදෙනවා මළ බතක්.

අපේ චාරිත්රයක් 
දානමය පිංකමක් 
කොහොමටත් හොඳ වැඩක්

හරියටම - හරියටම
හත් දවස පිරෙනකොට 
නෑයන්  නොනෑයන්ගෙ 
සහ අසල්වැසියන්ගෙ 
පොඩි පහේ එකතුවක්.

තුන් මාසේ ගෙවෙනකොට 
(හරියටම දවසටම 
නැතත් ඔහෙ කමක් නෑ )
නෑ නොනෑ අසල්වැසි
යහලු යෙහෙළියන් හා 
තවත් එක පාටියක්

අවුරුද්ද ගෙවෙද්දී 
සති අන්තයක් බලල 
පහසු දිනයක් බලල 
අවුරුද්දෙ දානේ දා 
අල්ලාප සල්ලාප 
කෙළි කවට සිනා මුසු 
විහිලු තහලුවෙන් පිරි 
ලොකු රංග සබාවක්.

හාමුදුරුවන් අතට 
යවන කරදාසියේ 
ලියා ඇති ඔහුගෙ නම
ජීවිතේ තියෙද්දී  
දරූ තනතුරු එහෙම.

දානානිසංස හා 
භුක්තානුමොදනා 
වදාරද්දී තමයි 
මතක්වෙන්නේ ටිකක් 
ප්‍රාණකරු ගැන යමක් 
එහෙම මතකය වුණත් 
අවදිවන්නේ යළිත් 
අනුසාසනා වෙතට
සවන් දී සිටියොතින්

ඊට පස්සේ ඉතින් 

"එව කව බොව කියන - තෙපුලින් පිරුණු ඇමතැන...."

රස නහර පිනායන 
අග්‍ර බෝජන ගොඩක් 
ප්‍රිලන්ච් ඩ්‍රින්ක් සමග 
සරුසාර ලන්ච් එකක්.

(චන්ද්‍රවංශ මුවන්වැල්ල )

Comments

Popular posts from this blog

යසෝදරාවත

කොරෝනා

ගං ඉවුර සිට බලනු මැනවි