Posts

Showing posts from February, 2022

අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං

 හපන්නට අඹරන්ට තවත් නම් බැරි හැඩයි  දත් තවම තිබෙනමුත් ඇඳි දෙකම රිදුම් දෙයි  දත් ටිකත් ගැලවුනොත් ලොඹු කටක් ඉතිරි වෙයි  කටේ දත් ටික නැතුව වයස්ගත වෙන්නෙ ඇයි  කටට කිසි රහක් නෑ බත් කන්න බැරිවෙලා  කෑම අඩු නිසාවෙන් ගතට පන නැතිවෙලා  කටහඬත් සද්දෙ නෑ උගුරෙ සෙම හිරවෙලා  ලෝකෙටත් වැඩක් නෑ මහලු වී  ගුලිවෙලා  ඉඳගන්නකොට පුටුවෙ ම්හ් කියා කියැවෙනව නැගිටගන්නට යද්දි දනිස්දෙක කකියනව  සරීරේ බර ගන්න දණහිසට බැරිවෙනව  වයස්ගත වී ඉන්නෙ ඇයිද හිත වදදෙනව  අත් කකුල්වල ඇඟිලි නවනකොට රිදෙනවා  පය ගසා ඇවිදිද්දි විලුඹ යට රිදෙනවා  රිදෙන තැන් හොය හොයා මංම අත  ගානවා  උපන් දිනයක් තවත් ඕනැ නෑ හිතෙනවා   සියලු දේ අතැරලා නිදහසේ මට      යන්න  කිසිදු වේදනාවක් මගෙ ගතට නොදැනෙන්න  නිදා සිටිනා විටදි සුටුස් ගා         පනයන්න  මාරයෝ ඉක්මනින් මා වෙතට පැමිණෙන්න  නිරෝගී සුවේ රස හිත හිතා සැනසෙන්න  ලෙඩ රෝග හැදෙන්නට එපා බෑ විඳවන්න  පරක්කුයි දැනටමත් මේ ලොවින් චුතවෙන්න  මාරයෝ ගෙනියන්න ඉතිං මං ගෙනියන්න