Posts

Showing posts from January, 2018

දූ කුමරී

රන් කිරි කට ගානා විටදී  තොදොල් වෙවී බහ තෝරද්දී  හබුන් කටයි බත් කට කද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා  මුනින් අතට නුඹ පෙරලෙද්දී  බඩගා දණගාමින් යද්දී  සිඟිති දෙපා පොඩි ඔසවද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා  දවසක ලොකු ළමයකු වෙද්දී  රඟහල කෙළිබිම ජය ගද්දී  කෝඩු  ලෙසින් සරසවි යද්දී  මා සිටියේ නෑ නුඹ ගාවා දුකත් සැපත් එකසේ විඳගන්නට  මියෙනතුරාවට එක්ව සිටින්නට  මගෙ පුතුගේ මනමාලිය වන්නට  ආ හැටි පුදුමයි දූ කුමරී  පෝරුව මත ඔබ මා පුතු සමගින්  හිටගෙන සිටිනා අයුරු බලන්  හිනාවෙලා මට සඟවන්නට බෑ  සිත් සන්තෝසේ දෝරෙ ගලාලා  වෑහෙන සීතල කඳුලූ 

හබුන් කටක්

අන්න පුතේ යාලුවෙක් ඇවිත්  ඔයාට පේන්න බත් කනවා  බත් ඇටයක් අත් දෙකින්ම අරගෙන වටපිට බලබල- ටික ටික හප හප   ඔයාට පේන්න බත් කනවා  ටිං ටිං  ගාලා සිංදු කියනකොට  පිම්බුණ වලිගය ගැස්සෙනවා  එහාට මෙහාට පැන පැන  දුව දුව  කිරි දත් පේන්න හිනැහෙනවා  ගස් දිග ඉහලට පහලට දුවමින්  මොනවද හොයන්නෙ කලබලයෙන්  හිඳින්න පොඩ්ඩක් ඔයාට තනි නෑ  යාලුවො  එයි දැන් හතර වටින්  ඕන්න ලේනෝ ඔයාට පේන්න  අපේ පුතත්  හපනෙක් වෙනවා  එක දෙක තුන මං  ගනින්න ඉස්සර  මගේ අතින් බත් කට කනවා 

මගේ ගම

පාන්දරට කුකුළන් හඬලන සද්දේ  හවසට වැවේ දියබුං ගහනා සද්දේ  කවි ගී කියා හරකුන් දක්කන සද්දේ  වෙනුවට ඇහෙන්නේ යන්තරවල සද්දේ  තැන තැන අහස උස මන්දිර ඉදිවෙනවා  හිරු සඳු තරු පවා දෑසට නොපෙනෙනවා  ගහ කොළ දැවටි සුළඟක් ගත  නොගැටෙනවා  නගරයෙ  ජීවිතය මගෙ හිත කළඹනවා  නිල්  කඳු වළල්ලක් මායිම් නොවුනාට   ගලන ගඟක් අහලකවත් නැතුවාට  ගොඩ මඩ  දෙකම සරු පලබර නොවුනාට   මගෙ  ගම හැරුණුකොට නිවනක් නොවේ මට (චන්ද්‍රවංශ මුවන්වැල්ල)  

විසිරුණු කැදැල්ලක සිට

රත්තරන් මුදු ගැලවිලා  රන් කෙන්ද අවතැන් වෙලා  සිහින පිරවූ මාලිගා සුළි  සුළඟකින් සුන් බුන් වෙලා  කොහේදෝ ඈතක බලාගෙන  සුසුම් පාකර හරින්නී ඈ  මාත් සමගින් තනිවෙලා  වසන්තය නැති යොවුන් ලෝකෙක  ඉබාගාතේ ඇවිද යන මා  ඇයත් සමගින් තනිවෙලා. සිත පෙලයි ගත වෙවුලුවා රිදවයි  රිද්මය බිඳී ජීවිත ඇදෙයි  මොහොතකට නවතියි  යළි ගැහෙයි  තුරුණු හදකට නුහුරු හැඟුමන්  බියකරුයි නපුරුයි. හැම දිනකමත් හෑම විටකත්  කැදැල්ලෙන් පිටවෙන්ට කලියෙන්  මෑණියන්ගේ නළල් තලයේ  ආදරේ පිරි හාදු රඳවනු  මා බලා සිටියා  එදා  ඔබේ ලෝකය මා කියා  කියූ හැටි මතකයි සදා  වෙනත් ලෝකෙක කිරුළු පැලඳුවෙ  ඇයි  පියාණනි කිව හැකිද මට  දියණියකගේ පියකු වූ බව  කෙසේනම් අමතක කළෙද ඔබ.

මගේ මුණුපුරන්ට .....

ඔබේ කටහඬ තමා දරුවනි ලොවැති මිහිරිම ගීය වන්නේ ඔබේ දසුනයි මගේ දෑසට  ඉතා පියකරු දසුන වන්නේ  ඔබේ දිවි ඇති තුරා නම් මට නොහැකි වෙනු ඇති එය කරන්නට මගේ දිවි ඇති තුරා බෙදනෙමි අසීමිත ආදරය ඔබ වෙත